HomeLATESTමහනුවර මාර්ග තදබදයට සහ මාර්ග ආරක්ෂාවට නව විසඳුම්

මහනුවර මාර්ග තදබදයට සහ මාර්ග ආරක්ෂාවට නව විසඳුම්

මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ පාසල් දරුවන්ගේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සහ රථවාහන තදබදය අවම කිරීමේ අරමුණින් අතරමග නවතා දමා තිබූ භූගත මගී මාරුවක ඉදිකිරීම් යළි ආරම්භ කර අවසන් කර තිබේ.

ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ සහ චන්ද්‍රානන්ද විද්‍යාලයේ සිසු සිසුවියන්ට මාර්ගය හරහා ගමන් කිරීමේදී මුහුණදීමට සිදුවන අවදානම් අවම කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි.

කටුගස්තොට පාලම ආසන්නයේ උදෑසන කාලයේදී සහ පාසල් අවසන් වන වේලාවන්හිදී ඇතිවන දැඩි රථවාහන තදබදයට ද මෙම භූගත මගී මාරුව භාවිත කිරීම තුළින් විසඳුමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ අතර, මහනුවර නගරයේ රථවාහන තදබදය අවම කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන මහනුවර තදාසන්න දුම්රිය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මහනුවර සිට කටුගස්තොට, වත්තේගම සහ කඩුගන්නාව දක්වා දුම්රිය මාර්ග ද්විත්ව මාර්ග බවට පත් කිරීමට සැලසුම් කර තිබේ.

මෙමගින් දුම්රිය මගී ප්‍රවාහන ධාරිතාව ඉහළ නැංවීමත්, මහනුවර නගරයට ඇතුළු වන රථවාහන ප්‍රමාණය අඩු කිරීමත් අපේක්ෂිතයි.

ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස පේරාදෙණිය යකා පාලමට සමාන්තරව නව පාලමක් ඉදිකිරීමේ කටයුතු දෙසැම්බර් මාසය තුළ ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ද ප්‍රකාශ කෙරිණි.

එමෙන්ම, මාර්ග අනතුරු හේතුවෙන් වාර්ෂිකව මෙරට පුද්ගලයන් දෙදහස් පන්සියයකට අධික පිරිසකට ජීවිත අහිමි වන බව පෙන්වා දුන් අදාළ ප්‍රකාශකයා, එම මරණ වළක්වා ගැනීම සඳහා මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බව ද අවධාරණය කළේය.

මේ අතර, ලබන වසර තුළ මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්තයේ ඉදිකිරීම් අවසන් කිරීමට අපේක්ෂා කරන බව ද එහිදී සඳහන් කෙරිණි.

RELATED ARTICLES
- Advertisment -spot_img

Most Popular